එහෙමත් දවසක්

ඊයේ ඉරිදා දවසේ මව්වරුන් ගේ දිනය ලු

අපේ ලොකු එකී දුවං ඇවිත්

ෆෝන් එකත් උල් කරලා, කටත් එක්ක උල් කරලා

මාව බදාගෙන ෆොටෝ අරං

කාමරේට දුවං ගියා

 

ලොකු හෝටල් වල ගජරාමෙ ලු

කප් රුකටත් හොඳ බිස්නස් ලු

අල්ලපු ගෙදර වීල් මල්ලි පොලට යන ගමං දාං යද්දි

රස කර කර මට කිව්වා

 

අනේ ඉතිං අපේ ගෙදර

කිසි වෙනසක් තිබ්බෙම නෑ

ඉරිදා දවසක් හින්දා, මහත්තයත් ගෙදර හින්දා

උදේ ඉදං වැඩ, වැඩ, වැඩ

 

උදේ කෑම අස්කරන්න හොඳටෝම පරක්කු උනා

ලොකු එකයි මහත්තයයි දවල් වෙනකං නිදි හින්දා

නිවාඩු දවසක නෙ අනේ එහෙමත් හරි නිදා ගන්නෙ

 

පොලට ගිහිං ඇවිදිල්ලා, දවල් කෑම උයල දීල

ගේ අස්පස් කරල, මිදුල වටේ අතුගාල

පොඩි එකාගෙ ඉස්කෝලේ වැඩ ටික අහවර කරල

පොඩ්ඩක් හති අරින කොටම

රෑ කෑමට හරි වෙලාව

 

ඊයේ ඉරිදා දවසේ මව්වරුන් ගෙ දිනය ලු

 

Image courtesy: http://www.islamic-relief.meHilma-Sri-Lanka-Qurbani-2013-2 (2)

Advertisements