ඔබ මම, මම ඔබ

අඩි උස සපත්තුවේ
ටික් ටොක්, ටික් ටොක් හඬ
පෙර ගමන් කරයි.

පිටින් බෝසත්, සිතින් සල්ලාල පිරිමි ඇස්
හඹා යයි
පසු පසින් තව.

“ඔහොම නං ඉතිං අපිටත් බරියැ”
වදන් පසු කරයි,
යනෙන තැන.

ඇස් කොනින්, කට කොනින්,
කතන්දර දහසක් පා වෙයි,
උනුන් අතර.

පැත්තක බංකුවක වාඩි වී ඉන්න මා දිහා
හදිස්සියේ නුඹේ ඇස් දෙක,
නතර වී මොහොතකට;
යටින් කළු ගැහුණු,
ඉදිමුණු, රතු වුණු,
ඒ අස් දුටුවේ මා විතර ද?
තද රතු තොල් පෙති වලට ටිකක් යටින්
ලාවට වියළුණු ලේ පැල්ලමක්,
දුටුවේ මා විතර ද?
වමතේ බැඳි ඔමේගා අත් ඔරලෝසුවට යටින්,
වියළී ගිය කැපුම් ඉරි,
දුටුවේ මා විතර ද?

එක් නිමේෂයකින්,
ඔබේත් මගේත් දෑස් යාවී කළ කතාව
තේරුණේ අපට විතරද?

ඒ,
ඔබ මා නිසාත්,
මා ඔබ නිසාත් නොවේ ද?

Leave a comment